Asiri Blog

ඉන්ෆ්ලුවෙන්සා නැවතත්

ඉන්ෆ්ලුවෙන්සා කියන්නේ වරින්වර අපි අතර පැතිරි යන වෛරස් රෝගයකි. ශ්වසන පද්ධතිය ආශ්‍රිතව ඇතිවන රෝගී තත්වයන් විදියට තමයි ඉන්ෆ්ලුවෙන්සා රෝගය හඳුන්වන්නේ. ගර්ෂනී කාන්තාවන්, ළදරුවන් හා වයස්ගත වූ අය මෙම රෝගයට ගොදුරු වුවහොත් අනෙක් පිරිසට සාපේක්‍ෂව තරමක් අසාධ්‍ය තත්වයට පත්වන බව තමයි වෛද්‍යවරුන්ගේ අදහස වන්නේ. ඒ නිසා කෝකටත් හොඳයි වැළඳෙන්න කලින් මෙයින් ආරක්‍ෂා වී සිටීම. ඉතින් මේ පිළිබඳව සාකච්ඡා කිරීමට අප හා සම්බන්ධ වූ ළමා රෝග | විශේෂඥ වෛද්‍ය සමන්ත ද සිල්වා මහතා සමග කළ සාකච්ඡාවක් ඇසුරින් මෙම ලිපිය සැකසී ඇත.

ළමා රෝග විශේෂඥ වෛද්‍ය සමන්ත ද සිල්වා

යමිකිසි පුද්ගලයෙකුට හෝ දරුවෙකුට උණ. හිසරදය. කැස්ස. නාසයෙන් සොටු දියර ගැලීම. ඇඟපත වේදනාව, මස්පිඩු වේදනාව. ශරිරයේ අප්‍රාණිකත්වය, උගුරේ කැක්කුම, පාචනය හා යම් විටක වමනය ඇති වීම ආදී රෝග ලකෂණ එකක් හෝ කිහිපයක් මතු වුවහොත් අනිවාර්යයෙන්ම ඒ පිළිබද ඔබ සැලකිලිමත් විය යුතුමයි. එයට හේතුව වන්නේ අද දවස වන විට සමාජයේ වෛරස් රෝග සමග ඉන්ෆ්ලුවෙන්සා A සහ B යමිතාක් දුරකට පැතිර තිබීමයි. ඉන්ෆ්ලුවෙන්සා රෝගය එකම ආකාරයකට සමාජයේ පැතිර නොයන විවිධාකාර මුහුණුවරකින් එළිබහින රෝගයක්. මේ හේතුවෙන් ඉන්ෆ්ලුවෙන්සා රෝගය මර්දනය කිරීම යම්තාක් දුරකට අපහසු කරුණක් වී ඇත. මේ සඳහා කළ යුත්තේ අවුරුද්දෙන් අවුරුද්දට පැමිණෙන වෛරසයේ ස්වභාවය අනුව එන්නත් වෙනස්කම්වලට භාජනය කිරීමයි. එමෙන්ම ඉහත සඳහන් රෝග ලකෂණ ඇත්නම් එක් දවසක් හෝ දවස් දෙකක් ගත වීමෙන් අනතුරුව නාසය අභ්‍යන්තරයේ සාම්පලයන් ගෙන පරිකෂණයක් සිදුකරගැනීම ඉතාමත් යහපත් වන අතර, එයින් අසාධ්‍ය තත්වයකට මුහුණ දීමට හැකි වන ප්‍රවණතාවය ද අවම කරගැනීමට ඔබට හැකියාව ඇත.

ඉන්ෆ්ලුවෙන්සා සාමාන්‍ය වෛරස් උණක් වුවත් වයස අවුරුදු 1කට අඩු දරුවන්ට, වැඩිහිටි පිරිසට සහ ගැබිනි මව්වරුන්ට, නිදන්ගත රෝග ඇති පිරිසට මෙහි වැඩි බලපෑමක් ඇති කිරීමට ඉඩ ඇත. 1918 වර්ෂයේ දී මෙම වෛරසය හඳුනා ගත් අතර කාලෙන් කාලෙට ලොව පුරා හෝ යම් යම් ප්‍රදේශවල පැතිරිම සිදුවේ. ඉන්ෆ්ලුවෙන්සා වෛරසය විශේෂයෙන්ම හඳුනා ගෙන ඇත්තේ සීතල රටවල පැතිරන වෛරසයක් ලෙසයි. මේ නිසා විදේශීය රටවල් බොහොමයක් ඉන්ෆ්ලුවෙන්සා ප්‍රතිශක්තිකරණ වෛරසය ලබා දෙනු ඇත.

ඉන්ෆ්ලුවෙන්සා වෛරසය තවත් පුද්ගලයෙකුට වැළඳිය හැකි වෛරසයක්. ඒ අතර නිරෝගී පුද්ගලයකු සෘජුවම රෝගී පුද්ගලයෙකුට නිරාවරණය වීම, වෛරසය වැළඳී ඇති අයකු පරිහරණය කළ භාණ්ඩ පරිහරණය කිරිම, ආසාධිත බිඳිති ආග්‍රහණය කිරීම ආදිය හේතුවෙන් මෙම වෛරසය වැළඳීමට ඉඩ ඇත. එමෙන්ම ආසාදිත පුද්ගලයකු කිවිසුම් යන විට. කහින විට ටිෂූ එකක් භාවිතා කරන්නේ නම් එය තැන තැන නොදමා නියමිත ලෙස කසල බඳුන්වලට දැමිය යුතු අතර ලේන්සුවක් භාවිතා කරන්නේ නම් නියමිත ලෙස පිරිසිදු කළ යුතුයි. තවද අනවශ්‍ය ගමන් බිමන් යාම, අධික සෙනග ගැවසෙන ස්ථානවලින් ඈත් වී සිටීම කළ යුතුයි. විශේෂයෙන් නිතර නිතර රෝහල්වලට යාම අවම කරන්න. පොදු ප්‍රවාහන සේවාවලින් ගමන් බිමන් යාම හැකිතාක් අවම කරන්න. යම් ආකාරයකින් ඔබ රෝගයට ගොදුරු වුවහොත් නිවසට වී කාලය ගත කිරීම වඩාත් සුදුසුයි. ඒ වගේම සුදුසුකම් ලත් වෛද්‍යවරයෙකු මුණ ගැසී අවශ්‍ය ප්‍රතිකාර හා උපදෙස් ලබා ගැනීමට ප්‍රමාද නොවන්න.

ඒ වගේම නිවස තුළ ඉන්ෆ්ලුවෙන්සා රෝගයට ගොදුරු වූ කෙනෙකු සිටී නම් ඔහුට/ඇයට උවටැන් කිරිමට කිසිම වේලාවක ගර්භනී මවක් ඉදිරිපත් නොකිරීමට සැලකිලිමත් වන්න. එයට හේතුව මේ කාලය තුළ දි ගර්භනී මවකගේ ශරීරයේ හෝමෝන ක්‍රියාකාරිත්වය සිදුවන ආකාරය හා ප්‍රතිශක්තීකරණය අවම වීමයි. මේ සියල්ල හේතුවෙන් පුද්ගලයකු වෙත මරණය පවා ගෙන ආ හැකි වෛරසයක් වන ඉන්ෆ්ලුවෙන්සා වලින් ආරක්ෂා වීමට නම් ඒ පිළිබඳ වඩාත් අවබෝධයකින් පසු වීම ජීවිතයක් රැක ගැනීමට මහත් රුකුලක් වනු ඇත.

නිරංජලා කෞශල්‍ය

ආසිරි සෙන්ට්‍රල් රෝහල
නො. 114, නොරිස් කැනල් පාර, කොළඹ - 10
Tel: +94 772533641
E-mail: info@asiri.lk