නිරංජලා කෞශල්‍යා
ගර්භණී අවධියේදී ගන්නා ආහාර දරුවාගේ වර්ධනයට ඍජුව බලපානු ලැබේ. නිවැරදි සෞඛ්‍ය සම්පන්න ආහාර පුරුදු මඟින් ගර්භණී කාලයේදි නිරෝගීව සිටීමටත්, සාර්ථක දරු ප්‍රසුතියක් සඳහා මවගේ සිරුර සූදානම් කිරීමටත් හැකියාව ලැබේ. මව දිනපතාම පෝෂ්‍යදායී ආහාර වේලක් ලබා ගැනීම මඟින් ගර්භයේ වැඩෙන දරුවාගේ සෞඛ්‍යය සුරැකෙනු ඇත. ගර්භණී මවකට අවශ්‍ය පෝෂ්‍යදායී ආහාර පිළිබඳ සාකච්ඡා කිරීමට අප හා එක්වූයේ ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය රුවන් සිල්වා මහතා.
ගර්භණී මවකගේ පෝෂ්‍යදායි ආහාර වේලක අන්තර්ගත යුතු පෝෂ්‍ය පදාර්ථ, විටමින් හා ඛනිජ ලවණ ගැන විග්‍රහයක් මෙහි දැක්වේ.
ඇමයිනෝ අම්ලය
දරුවෙක් වර්ධනය වන විට සෛල විභජනය සිදුවන අතර ඒ සඳහා ඇමයිනෝ අම්ල අත්‍යාවශ්‍ය වේ. සමහර ඇමයිනෝ අමිල මිනිස් සිරුරේ නිපදවන අතර සමහරක් ඇමයිනෝ අම්ල ආහාර මඟින් ලබා ගත යුතු වේ. ඒවා අත්‍යාවශ්‍ය ඇමයිනෝ අම්ල ලස හඳුන්වයි. (Essential Amino Acids). මාළු. බිත්තර, කිරි, මස්, ධාන්‍ය හා ඇට වර්ගවල අත්‍යාවශ්‍ය ඇමයිනෝ අම්ල අන්තර්ගත වේ.
මේද අම්ල
මේද අම්ල දරුවාගේ වර්ධනයට හා ස්නායු පද්ධතිය නිර්මාණයට අත්‍යාවශ්‍ය සාධකයන්ය. ගර්භණී කාලයේදී අනුභව කරන මස්, මාළු, බිත්තර හා කිරි වැනි සත්ව ආහාර මගින් මවට අවශ්‍ය මේද අම්ල ලැබේ. ඒ අතර ඔමේගා-3 නැමැති විශේෂිත මේද අම්ලය දරුවාගේ මොළයේ වර්ධනයටත්, ඇස් සහ දෘෂ්ටියේ වර්ධනයටත් ඍජුවම බලපායි. මෙම විශේෂිත මේද අම්ලය මුහුදු මාළු වල අන්තර්ගත වන අතර ඊට අමතරව අතිරේක පෙත්තක් ලෙස ද ලබාගත හැකිය.
විටමින් B12
දරුවාගේ සිරුරේ නව සෛල ජන්මයට මෙම විටමිනය අත්‍යාවශ්‍ය වේ. ස්නායු පද්ධතියේ වර්ධනයට ද එය වැදගත් කාර්යයක් ඉටු කරයි. මස්, මාළු, බිත්තර, කිරි සහ යෝගට් වැනි ආහාරවල මෙම විටමිනය බහුලව අන්තර්ගත වේ. නිර්මාංශ ආහාර අනුභව කරන මව්වරු විටමින් B12 ඌනතාව මඟහරවා ගැනීම සඳහා එය අතිරේක විටමිනයක් ලෙස ලබා ගැනීම උචිත වේ.
ෆෝලික් අම්ලය (FOLIC ACID)
ගර්භණී කාලයේ පළමු මාස 3 ඇතුළත දී ෆෝලික් අමිලය ගැනීම අනිවාර්ය වේ. එමඟින් දරුවාගේ ස්නායු පද්ධතිය සම්බන්ධව ඇතිවන සංකූලතා අවම කරගත හැකිය. ගර්භණී කාලයේදී දිනපතාම ෆෝලික් අමීලය පෙත්තක් (img) රාත්‍රී ආහාරයෙන් පසුව ලබා ගැනීම සුදුසු වේ. අප ගන්නා ආහාර වලින් ධාන්‍ය වර්ග, නිවුඩ්ඩ සහිත සහල්, නැවුම් එළවළු, පලතුරු, ඇට වර්ග, බෝංචි අල සහ යීස්ට් සාරවල ෆෝලික් අම්ලය බහුලව අන්තර්ගත වේ.
විටමින් C
සිරුරට යකඩ අවශෝෂණය වැඩි කරයි. දරුවාගේ අස්ථි හා ප්‍රතිශක්තිකරණ පද්ධතිය වැඩීමට විටමින් C අවශ්‍ය වේ. මවක් විටමින් C අවශ්‍ය ප්‍රමාණයට ලබා ගතහොත් එමඟින් දරුවාට නිරෝගීමත් සමක් ලැබේ. 2 වැනි ත්‍රිමාසිකය (2nd TRIMESTER) ආරම්භයක් සමග දිනකට විටමින් C පෙත්තක් ගැනීම උචිත වේ. තක්කාලි, අල, අඹ, කෙසෙල් වැනි එළවළු හා පලතුරු වල විටමින් C අන්තර්ගත වන අතර ඒවා ගර්භණී කාලයේ අනුහයට සුදුසු ආහාර වේ.
විටමින් D
මවගේ අස්ථි ශක්තිමත් කිරීමටත් දරුවාගේ අස්ථි හා කාටිලේජ වර්ධනයටත් විටමින් D උදව් වේ. ගර්භණී කාලයේදී විටමින් D අවශ්‍ය ප්‍රමාණයට ලබා නොගතහොත් මවගේ සිරුරේ වැඩන කළලයට විටමිනය සපයන අතර, මව විටමින් D ඌනතාවට මුහුණ දෙයි. සාමාන්‍යයෙන් ඝර්ම කලාපයේ රටවල මව්වරු හිරු එළියට අනාවරණය වනවිට සිරුර මඟින් විටමින් D නිපද වේ. වැඩිපුර හිරු එළියට නිරාවරණය නොවන මව්වරු විටමින් D බහුල මාගරින්, බිත්තර හා මාළු වැනි ආහාර හා අතිරේක විටමිනයක් ලෙස ශරීරයට ලබා ගත යුතු වේ.
කැල්සියම්
මෙය අස්ථි හා දත්වල අනිවාර්ය සංඝඨකයකි. දරුවාගේ හෘදය, ස්නායු පද්ධතිය හා මාංශ පේශි වර්ධනයට ද අත්‍යාවශ්‍ය වේ. කිරි ආහාර, සෝයා, නැවුම් එළවළු හා පලතුරු කිසියම් බහුල ආහාර වේ. ගර්භණී කාලයේදී මව්වරු කැල්සියම් අතිරේක පෙති ලෙස ලබා ගන්නා අතර දිනකට මවගේ කැල්සියම් අවශ්‍යතාව ග්රෑම් 1ක් (kg) පමණ වේ. මව අවශ්‍ය ප්‍රමාණයට කැල්සියම් නොගතහොත් අස්ථි දියවී (Osteoporosis) කැල්සියම් මවගෙන් දරුවාට සපයයි.
යකඩ
යකඩ මිනිස් සිරුරේ O2, ප්‍රවාහනය කරන රතු රුධිරාණුවල ඇති හිමොග්ලොබින් (Hb) නැමැති අණුවේ මුලික සංඝඨකයකි. O2 මවගේ සිරුර පුරාවට ප්‍රහනයටත් මවගේ සිරුරේ සිට දරුවාට ගෙන යාමටත් යකඩ අවශ්‍ය වේ. යකඩ ඌනතාව ශ්‍රී ලංකාවේ මව්වරු අතර සුලභ රෝගී තත්වයක් වන අතර යකඩ අධික ආහාර ගැනීමට මව්වරු දිරිමත් කළ යුතු වේ. බිත්තර, මස් හා මාළු වැනි සත්ත්ව ආහාරවල සිරුරට ඉක්මනින් අවශෝෂණය කරගත හැකි ආකාරයේ යකඩ බහුලව ඇත. පලා, ඇට වර්ග හා ධාන්‍යවල ඇති යකඩ සිරුරට අවශෝෂණය සෙමින් සිදුවේ. 2 වැනි ත්‍රිමාසිකයේ සිට සියලුම මව්වරු යකඩ පෙති අතිරේකව ලබාගත යුතුයි. යකඩ පෙත්ත සැමවිටම විටමින් C පෙත්ත සමග ලබා ගැනීම හා යකඩ පෙත්ත සහ ආහාර වල අතර පරතරය අවම වශයෙන් පැය දෙකක්වත් වීම වෛද්‍ය නිර්දේශයයි.
සමබල පිරිසුදු ආහාර වේලක්
ඉහත විස්තර කළ විවිධ විටමින් හා ඛනිජ ලවණ අන්තර්ගත සමබල ආහාර වේලක් මව් කුස තුළ වැඩෙන දරුවාට සෞඛ්‍ය සම්පන්න අනාගතයක් ලබා දෙයි. පිරිසුදුව නිවසේදී පිස ගත් නැවුම් ආහාර අනුභවය මඟින් ගර්භණී කාලයේදී ඇති විය හැකි උදර ආබාධ ද (FOOD POISONING) අවම කරගත හැකියි. මෙහිලා සඳහන් කළ නිවැරදි ආහාර පුරුදු මවට ද, දරුවාට ද නිරෝගිමත් සෞඛ්‍යයක් උරුම කර දෙයි.
ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය
රුවන් සිල්වා