Asiri Blog

දියවැඩියාව සහ යහපැවැත්ම

නිරංජලා කෞශල්‍යා

අද ලෝකයේ මෙන්ම අප රටේ ජනතාව ද මුහුණ දී තිබෙන ප්‍රධාන සෞඛ්‍ය ගැටලු අතර දියවැඩියා රෝගය ප්‍රමුඛ ස්ථානයක් බවට පත්වී තිබෙනවා. මෙහි තවත් භයානක පැතිකඩක් වශයෙන් තරුණ පරපුර විශාල වශයෙන් මෙම රෝගයට ගොදුරු වී තිබීම සහ ඒ බව නොදැන සිටීමයි. මිනිස් ජීවිතයේ ඇවතුම් පැවතුම් මෙන්ම ආහාර රටාව නිසි ආකාරයෙන් පවත්වා නොගැනීම, නිසි අයුරින් ව්‍යායාම නොකිරීම, ක්ෂණික ආහාර වැඩි වශයෙන් භාවිතය, මානසික ආතතිය මෙම ප්‍රතිශතය වසරින් වසර වැඩි වීමට හේතු වී තිබෙනවා.

වෛද්‍යතුමනි, කුමක්ද මේ දියවැඩියා රෝගය කියන්නේ?

මිනිස් සිරුරේ අග්න්‍යාශයේ ලැන්ගර්හැන්දීපිකා (බීටා) සෛල මඟින් නිපදවන ඉන්සියුලින් හෝමෝනය කිසිසේත්ම නිපද නොවීම, ශරිරයට අවශ්‍ය ප්‍රමාණයට නිපද නොවීම සහ ඉන්සියුලින් ක්‍රියාකාරී සෛල එයට ප්‍රතිරෝධීතාවය දැක්වීම, මෙම රෝගය ඇති වීමට ප්‍රධාන ලෙස බලපානවා. මෙම හේතුව නිසා රුධිරයේ ඇති සීනි (ග්ලුකෝස්) ප්‍රමාණය සාමාන්‍ය අගයට වඩා දිර්ඝ කාලයක් නිරන්තරයෙන් ඉහළ යාම මෙලෙස හඳුන්වන්න පුළුවන්. මීට අමතරව සමහර ඖෂධ වර්ග, ජානමය හේතූන් මත, සමහර වෛරස් රෝග නිසා, ඉන්සියුලින් ප්‍රතිරෝධි හෝමෝන නිසාත්, අග්න්‍යාශයේ වෙනත් විවිධ රෝග නිසාත් මෙම රෝගය වැලඳෙන අවස්ථා දැකිය හැකියි.

දියවැඩියා රෝගය වැළඳීමට අවදානමක් ඇත්තේ කාට ද?

ඔබ වයස අවු. 45ට වැඩි නම්, තරබාරු අය, පවුල් ඉතිහාසය, ව්‍යායාම අඩු අයට, හෘද රෝග, අධිරුධිර පීඩනය සහ අධික කොලෙස්ටරෝල් ඇති අයට, මානසික ආතතියට, ක්ෂය රෝගය ඇති අයට, ගර්භණී සමයේ දියවැඩියාවට ගොදුරු වූ අයට, උපත් බර ඉතා වැඩි හෝ අඩු අයට (POCS-Polycystic Ovarian Syndrome), විටමින් D ඌනතාවය ඇති අයට, අයහපත් ආහාර රටාවක් ඇති අයට, අධික දුමිපානය කරන අයට, පූර්ව දියවැඩියා අවස්ථාවේ සිටින අයට මෙම රෝගය වැළඳීමේ අවදානමක් තිබෙනවා.

නිසි අයුරින් මෙම රෝගය පාලනය නොතිබීමෙන් කුමක් සිදුවිය හැකි ?

කෝමා තත්වය, වකුගඩු අක්‍රීය වීම, හෘද රෝග, දෙපා අහිමි වීම, අන්ධභාවය, ආඝාතය, ස්නායු දුර්වල වීම, ලිංගික අප්‍රාණිකත්වය, රුධිර නාල සම්බන්ධ රෝග සහ ආසාදන තත්වයන් ඇති වීමට පුළුවන්.

මෙම රෝගය වැළැක්වීමට අර ගත යුතු ක්‍රියාමාර්ග මොනවා?

සෑම කෙනෙකුම යහපත් ආහාර රටාවන්, නිසි ව්‍යායාම, මානසික යහපැවැත්ම, අවශ්‍ය ප්‍රමාණයට නින්ද ලබා ගැනීම, නිසි කලට අවශ්‍ය රුධිර පරීක්ෂාවන් සිදුකිරීම, දුම් පානයෙන් වැළකීම සහ ඉහත සඳහන් සියලු අවදානම් පුද්ගලයන් සඳහා දියවැඩියාව හඳුනා ගැනීමේ පූර්ව පරික්ෂාවන් සිදුකිරීම, මෙය නිසි ලෙස වළක්වා ගත හැකියි. මෙයට අමතරව පහත සඳහන් රෝග ලක්ෂණ පෙන්නුම් කරන අය ද පූර්ව පරික්ෂාවකට ලක් කළ යුතුයි. (නිතර මුත්‍රා පහවීම, අධික පිපාසය, ක්ෂණික බර අඩු වීම, පාදවල හිරිය ඇති වීම, කල්ගත වන තුවාල ඇති අය, ලිංගික අවයවවල දිලීර ආසාදන (සුද යාම), ඇසේ සුද ඇති වීම.)

මෙම රෝගය පාලනය කිරීමට නම්,
1. වෛද්‍ය උපදෙස්වලට අනුකූලව ඖෂධ භාවිතා කිරිම.
2. නිවැරදි ආහාර රටාවන් අනුගමනය කිරීම සහ පාලනය කිරීම.
3. නිසි අයුරින් සුදුසු වයයාමයක නිරත වීම.
4. වෛද්‍ය උපදෙස් අනුව අවශ්‍ය පරීක්ෂා සිදුකිරීම හා follow-up (පසු පරික්ෂා), උපදෙස් හා ප්‍රතිකාර ලබා ගැනීම නොකඩවා සිදුකිරීම ආදියයි.
5. මානසික ආතතිය අවම කිරිම.

ආසිරි මෙඩිකල් රෝහල තුළ ඇති දියවැඩියා මධ්‍යස්ථානය පිළිබඳව විස්තර කළොත්?

අපගේ දියවැඩියා මධ්‍යස්ථානය තුළ සුදුසුකම්ලත්, මනා පළපුරුද්දෙන් යුත් සෞඛ්‍ය ක්ෂේත්‍රයේ වෘත්තීයවේදින් සමඟින් නවතම තාක්ෂණය හා ක්‍රමවේදයන් තුළින් දියවැඩියාව පාලනය කිරීම සහ සියලු සංකූලතාවයන් සඳහා අදාළ ප්‍රතිකාර ඉතා උසස් තත්වයෙන් ලබා දෙනු ලැබේ. දියවැඩියා රෝගීන් හඳුනා ගැනීම, ඇස් පරීක්ෂා කිරීම, පාදවල ස්නායු සහ රුධිර නාළවල වෙනස්කම් පරීක්ෂා කිරීම, උපදේශන, පාදවල කරගැට සඳහා ප්‍රතිකාර, පාදයේ නියපොතුවල ඇති අසාමාන්‍යතා, තුවාල වෙළුම, පෝෂණවේදින්ගේ සහය, විශේෂඥ වෛද්‍ය සහය සහ මානසික යහපැවැත්ම සඳහා උපදේශන සේවා ද අප මධ්‍යස්ථානයෙන් සපයනු ලැබෙන සේවාවන් වේ.

දියවැඩියා විශේෂඥ වෛද්‍ය එම්. ෆිර්දව්ස් එම් සාලි
ආසිරි රෝහල