පාලිත අබේලාල්
කොන්දේ කැක්කුම අද සමාජයේ බොහෝදෙනෙක් පීඩා විදින රෝගී තත්ත්වයක් බවට පත් වී ඇත. දෛනික ජීවිතයේ එදිනෙදා කාර්යයන් මෙන්ම වෘත්තීය ජීවිතයේ කාර්යයන් පවා අඩපණ කරමින් ඇතිවන මේ තත්ත්වය පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා අප හමුවූයේ ස්නායු ශල්ය වෛද්‍ය ව්ශේෂඥ සුනිල් පෙරේරා මහතාය.
වෛද්‍යතුමණි කොන්දේ කැක්කුම කියන්නේ මොකද්ද?
මේක ඇත්තටම අපේ සිරුරේ කොන්ද ආශ්‍රිත ප්‍රදේශයේ ඇතිවන ආසාදන තත්ත්වයක් හේතුවෙන් ඇතිවන කැක්කුමක් කියල හඳුන්වන්න පුළුවන්. වර්තමානය වන විට යම්කිසි කෙනෙකුට තමන්ගේ ජීවිතයේදී කොන්දේ කැක්කුමක් සෑදීමට ඇති සම්භාවිතාවය 80% ක පමණ බවයි වාර්තා වෙන්නේ. කොන්දේ කැක්කුම අද වන විට මිනිසුන් හට කෙතරම් පීඩනයක් ඇතිකර තිබෙනවාද විමසුවොත් ඇමරිකාවේ වෛද්‍යවරුන්ගේ ප්‍රතිකාරවලින් 20% ක් ප්‍රතිකාර කරන්නේ කොන්දේ කැක්කුම සඳහා බවයි වාර්තා වන්නේ. මීට අමතරව ඇමරිකාවේ විවිධ ආයතනවල වාර්ෂික නිවාඩු ගැනීම් පිළිබඳව විමසීමකදී 40% ක පිරිසක් නිවාඩු අරගෙන තියෙන්නේ මේ කොන්දේ කැක්කුම කියන තත්ත්වය සමස්ත ලෝකවාසීන්ටම බලපාන ප්‍රශ්නයක් බවට පත් වී තිබෙනවා.
කොන්දේ කැක්කුම් තත්ත්වයන් ඇති වෙන්නේ කොහොමද?
කොන්ද කියල අපි සාමාන්යෙන් හඳුන්වන්නේ කෂේරුකාවයි. මේක අස්ථි සමූහයකින් නිර්මාණය වූ අවයවයකි. මේ අවයවයෙන් කරන ප්‍රධාන කාර්යය තමයි අපේ ශරීරය ඍජුව තබා ගැනීමට සහ අපේ චලනයන් සඳහා උපකාරී වීම. කශේරුකාව අවට පිහිටා තිබෙන මාංශපේෂීන් වලින් තමයි මේ කාර්යය සඳහා ශක්තිය සපයන්නේ. කොන්ක්‍රීට් කණුවක වුනත් සිරස් අතට ශක්තිමත් කොන්ක්‍රීට් රඳවාගෙන සිටින්නේ එහි ඇති කම්බි මඟින්. මේ වගේම තමයි අපේ කශේරුකාවත්. අද කාලේ සමාජ රටාවත් සමඟ බොහෝදෙනෙක් කොන්ද ආශ්‍රිත මාංශපේෂීන් වර්ධනය කර ගැනීම කරන්නේ නෑ. මේ හේතුව නිසා බොහෝ ක්‍රියාකාරකම් වලදී මාංශපේෂීන් වල ශක්තිමත් බව නොතිබීම හෝ නිවැරදි ඉරියව්වල පිහිටා බර ඉසිළීම වැනි ක්‍රියාකාරකම් නිසා අනවශය බරක් කොන්ද වෙත යොමු වීම හේතුවෙන් කොන්ද ආශ්‍රිත මාංශපේෂීන් වල තන්තු ඇදීම, හන්දිවලට වැඩි පීඩනයක් එල්ලවීම හේතුවෙන් හන්දි ඉදිමීම වගේම කෂේරුකා අතර පිහිටා තියෙන ජෙලි හැඩයෙන් යුත් කශේරුක මඬල (Disk) ඉන් බැහැරට පැමිණීම ආදිය සිදුවිය හැකියි. මෙතැනදී ස්නායු තෙරපීම් ආදිය සිදුවීම නිසා කොන්දේ වේදනාව පමණක් නොවේ, ස්නායුව දිවෙන පාදය දක්වාද වේදනාව ඇති වෙනවා. ඒත් සමඟ එම පාදයේ මාංශපේෂීන් තදවීමේ තත්ත්වයක් පවා ඇති වීමට පුළුවන්. මීට අමතරව අසාමාන්ය ලෙස කොන්ද හැරවීම් ආදියේදී මාංශපේෂීන්වල තන්තු ඇදීම හේතුවෙන් කොන්දේ කැක්කුම ආදී තත්ත්වයන් ඇති වීමට පුළුවනි. තවත් හේතුවක් තමයි දීර්ඝ වේලාවක් එකම ඉරියව්වක සිටීම නිසා සිරුරේ බර එකම ස්ථානයකට සම්ප්‍රේෂණය වීමේ හේතුවෙන් දරාගැනීමට නොහැකි පීඩනයක් එල්ල වීම තුළ මේ වගේ කොන්දේ ඉදිමීම් තත්ත්වයන් වගේම වෙදනාවන් ඇති වෙනවා.
අනවශ්‍ය බරක් යොමු වෙනවා යනුවෙන් අදහස් කළේ කුමක්ද?
වර්තමානය වන විට අපේ ජීවන රටාව තුළ ශාරීරික ක්‍රියාකාරකම් සිදුවන්නේ ඉතා අවම මට්ටමින්. මේනිසා අපි බොහෝවිට ශාරීරික වියායාම ආදිය කිරීමේදී අනවශ්‍ය පීඩනයක් යොදා ශරීරය නැවීම් වගේම අනවශ්‍ය බර ඉසිලීම් ආදිය සිදුකරනවා. මේ හේතු නිසා අපේ ක්ෂේරුකාවට අනවශ්‍ය බරක් නැත්නම් පීඩනයක් එල්ල වෙනවා. මෙතැනදී ඇත්තටම අපි කළ යුත්තේ අපගේ ශරීරයට දරාගත හැකි ආකාරයෙන් ක්‍රමක්‍රමයෙන් ශරීරයේ නැවීම් සහ බර ඉසිලීම් ආදිය සිදු කිරීමයි.
කොන්දේ කැක්කුම වර්ග කිරීමක් කර තිබෙනවා නේද?
ප්‍රධාන වශයෙන් කොටස් තුනකට වර්ග කර තියෙනවා. ඇකියුට් බැක්පේන් කියල හඳුන්වන්නේ සති හයක් පමණ ගතවීමේදී සුව වන සහ සුව කරගත යුතු වේදනාවන්. සුමාන හයට වඩා ඇතිවන කැක්කුම් දීර්ඝකාලයක් පැවතීමේ අවදානම ඇති වෙනවා. සති දොළහට වඩා ඇතිවන කැක්කුම් හඳුන්වන්නේ ක්‍රොනික් බැක්පේන් කියල. මේ වගේ කොන්දේ කැක්කුමකට සාර්ථක විදියට ප්‍රතිකාර සිදුකර නොගත්තොත් සදාකාලිකව කොන්දේ වේදනාවක් පවා ඇති වීමට පුළුවන්.
කොන්දේ කැක්කුමකදී අප හැසිරිය යුත්තේ කෙසේද?
ඇත්තටම ඕනම කොන්දේ කැක්කුම් තත්ත්වයකදී අපි වැඩි අවධානයක් යොමු කිරීම අත්යවශ්ය වෙනවා. එතැනදී කොන්දේ කැක්කුම ඇති වුණේ මොන ක්‍රියාකාරකම් නිසාද යන්න විමසා බලා ඉන් අත්මිදීම වැදගත් වෙනවා. කොන්දේ කැක්කුමක් පවතිද්දී හෝ එය සුව වූ පසුවත් අනවශ්‍ය බර හෝ තෙරපුම් කොන්දට නොදී සිටීමටත් සැලකිලිමත් විය යුතු වෙනවා. අනෙක් කාරණය තමයි වියායාම සඳහා යොමු වීම මෙහිදී ඉතාමත් වැදගත් කාරණයක්.
වෛද්‍යතුමනි, කොන්ද ආශ්‍රිත ශල්‍යකර්මයන් කිරීම අවදානම් සහගතද?
මේ සම්බන්ධව සමාජයේ ඇත්තටම පවතින්නේ අනිසි බියක් කියන එක මුලින්ම කියන්න ඕන. ගොඩක් අය හිතන්නේ මේ වගේ ශල්‍යකර්මයන්ගෙන් රෝගියා ඇඳට වැටෙන බවයි. නමුත් අද දියුණු තාක්ෂණය සමඟින් සිදුකරන මේ ශල්‍යකර්මයන් නිසා අතුරු ආබාධ රහිතව ඉතා පහසුවෙන් මේ කාර්යය කිරීමේ හැකියාව පවතිනවා. කෙටි කාලයක් තුළ රෝගියා හට තමන්ගේ සුපුරුදු ජීවන රටාවට යොමු වීමටත් මෙයින් හැකියාව ලැබෙනවා. නමුත් මෙතැනදී නිරන්තරවම රෝගීන් තමන්ගේ කොන්දට අනවශ්‍ය බරක් හෝ පීඩනයක් එල්ල නොවීමට වගබලා ගැනීම අනිවාර්යය දෙයක්.