තිනෙති නානායක්කාර
ලේසර් ප්‍රතිකාර ක්‍රමය (Lazer Treatment) කියන්නේ නවීන විද්‍යාවේ මෙන්ම නූතන බටහිර වෛද්‍ය විද්‍යාවේ දීර්ඝකාලීන පර්යේෂණයන්හි ඉතාම සාර්ථක ප්‍රතිකාර ක්‍රමවේදයක්. බොහෝ දෙනා අකමැති ඖෂධ හා ශල්‍යකර්මවලින් මිදී රෝග රැසකටම සුවය සලසන ප්‍රතිකාර ක්‍රමයක් ලෙස ලොව පුරා වෛද්‍යවරු මෙය අත්හදා බලා අවසානයි. ඉතින් ඒ සාර්ථක ලේසර් ප්‍රතිකර්මය පිළිබඳව ඔබව දැනුම්වත් කිරීමට අප සමග එකතු වුණා චර්ම රෝග විශේෂඥ වෛද්‍ය නයනි මදරසිංහ මහත්මිය.
වෛද්‍යතුමියනි, ලේසර් කිරණ ප්‍රතිකාරය පිළිබඳව හැදින්වීමක් කළොත්?
Lazer Treatment එක කියන්නේ ආලෝක කිරණ කදම්භයක් ආශ්‍රිතව කරන ප්‍රතිකාරයක්. මෙය විවිධ රෝග රැසකට මෙන්ම රූපලාවන්‍ය ගැටලු සඳහාද අප විසින් යොදා ගන්නවා. විශේෂයෙන්ම වෛද්‍ය විද්‍යාවේ ක්‍ෂේත්‍ර ගණනාවක මෙය භාවිත වෙනවා. ලංකාවේද මෑතකාලීනව මෙම ප්‍රතිකාර ක්‍රමය භාවිතයට පටන් ගත්තත් ලෝකයේ අවුරුදු 30කට ආසන්න කාලයක පටන් මෙම ප්‍රතිකාරය රෝගීන් සඳහා භාවිතයට ගෙන තිබෙනවා.
මොන වගේ අවස්ථාවලදී ද එය භාවිතයට ගැනෙන්නේ?
එය අවස්ථාවෙන් අවස්ථාවට වෙනස් වෙනවා. ප්‍රධාන වශයෙන් අක්ෂි රෝග, වකුගඩු රෝග හා පිළිකා රෝග සඳහා වෛද්‍යවරු විසින් මෙය භාවිතයට ගන්නවා. ඒ වගේම සමේ අනවශ්‍ය රෝම ඉවත් කිරීමට, විවිධ කැළලි (තුවාල, කුරුළෑ, ශල්‍යකර්ම කැළල) ඉවත් කිරීමට, මුහුණේ ඇති වන කළු පැල්ලම් ඉවත් කිරීමට ආදී රූපලාවන්‍ය අවශ්‍යතා සඳහාද මෙම ප්‍රතිකාරය යොදා ගනු ලබනවා. එමෙන්ම අත් පාවල ඉලිපී තිබෙන කේන්ශනාලිකා යථා තත්ත්වයට පත් කිරීම සඳහාද මෙම ප්‍රතිකාරය අප විසින් ලබා දෙනවා.
වෛද්‍යතුමියනි ඇත්තටම සමාජයේ බහුතරයක් තුළ ප්‍රතිකාරය සඳහා අනිසි බියක් සැගවිලා තිබෙනවා නේද?
ඔව්. ඇත්තටම ගොඩක් අයට තිබෙන ප්‍රශ්නයක් තමයි ලේසර් ප්‍රතිකාරය කිරීමේදී මොන විදිහටද ඒක කරන්නේ, ඒක දැනෙන්නේ කියන එක. මෙහිදී දැනගත යුතු විශේෂිතම දේ තමයි මේ කරන්නේ ඒ සඳහාම සකස් වූ පහසුකම් සහිත කාමරයක් තුළයි. ශල්‍යාගාර ඊට යොදා ගන්නේ නෑ. ඒ වගේම අධික වේදනාවක් දැනෙන්නෙත් නෑ. සමහර අවස්ථාවල ඊට ගැළපෙන ක්‍රීම් වර්ගයක් ආලේප කරලයි ප්‍රතිකාරය ආරම්භ කරන්නේ. විශේෂයෙන්ම ප්‍රතිකාර ලබන්නාගේ දෑස් ආරක්ෂා කිරිමටත් අපි පියවර ගන්නවා. ඒ නිසා ලේසර් ප්‍රතිකාරය සඳහා කිසිදු බියක් හෝ තැතිගැන්මක් තබා ගන්න අවශ්‍ය නැ..
රූපලාවන්‍යාගාර තුළත් මේ වන විට මෙම ක්‍රමය භාවිතා කරනවා වෙන්ද?
ඔව්. රූපලාවන්‍ය කටයුතු වඩා සාර්ථක කර ගැනීම සඳහා රුපලාවන්‍ය ශිල්පීන් විසින් දැන් එය භාවිතා කරනවා. ඇත්තටම මෙහිදී අවශ්‍යතාවයට ගැළපෙන නිවැරදි ලේසර් වර්ගය තෝරා ගැනීම පිළිබඳව අවධානය යොමු කළ යුතුයි. මොකද ලේසර් ප්‍රතිකාරයේ ප්‍රධාන වර්ග කීපයක් තිබෙනවා. එම නිසා රූපලාවන්‍ය කටයුතු සඳහා ලේසර් ප්‍රතිකර්මය යොදා ගැනීමේදී විශේෂඥ උපදෙස් සහිතව උසස් තත්වයේ උපාංග යොදා ගෙන සිදු කළ යුතුයි.
වෛද්‍යතුමියනි, මේ ප්‍රතිකර්මය නිසා අතුරු ආබාධ ඇති වීමේ ප්‍රවණතාවක් තිබෙනවාද?
අතුරු ආබාධයක් නම් නෑ. නමුත් ආසියාතික රටක හිරු එළියේ දැඩි රශ්මිය මධ්‍යයේ ජීවත් වන අපිට මෙම ප්‍රතිකාරය ලබා ගත් පසු හිරු රශ්මියට අධිකව නිරාවරණය වුණොත් සමේ අවපැහැ ගැන්වීමක් හට ගන්න පුළුවන්. ඒක නිසා ප්‍රතිකාර ලබා ගත් පසු අනිවාර්යයෙන්ම වෛද්‍ය උපදෙස් පිළිපැදිය යුතුයි. තවත් සමහර අයට ඉදිමීම් තත්ත්වයක් හට ගන්නවා. ඒත් ඒකත් තාවකාලික තත්වයක් පමණයි.
චර්ම රෝග විශේෂඥ වෛද්‍ය
නයනි මදරසිංහ