නිරංජලා කෞශල්‍යා
පිළිකාව යන්න ඇසූ පමණින් එය සමාවක් නොමැතිව ජිවිත බිළිගන්නට පැමිණි මාරාන්තික රෝගයක් ලෙස බොහෝ දෙනා දකිති. ඒ වගේම පිළිකාවක් හඳුනාගත් මොහොතේ සිටි අප කොයි කවුරුත් ජීවත් වන්නේ මහත් බියකිනි.
වෛද්‍යතුමනි, පියයුරු පිළිකාවක් යනු කුමක්ද? එහි දී දක්නට ලැබෙන ලක්ෂණ මොනවාද?
ලංකාවේ කාන්තාවන් අතර බහුලවම වාර්තා වන පිළිකාව පියයුරු පිළිකාවයි. පියයුරුවල කිරි නිපදවන ග්‍රන්ථිවල හෝ එම ග්‍රන්ථිවල සිට කිරි රැගෙන යන නාළවල හෝ අවට සම්බන්ධක පටකවල සෛල අසාමාන්‍ය ලෙස පාලනයකින් තොරව ආක්‍රමණකාරී ලෙස වර්ධනය වීම පියයුරු පිළිකා ලෙස හැඳින්වේ. මෙම පියයුරු පිළිකාවල පිළිකා සෛල ඒ අවට ඇති රුධිර නාළ වසා නාළ ඔස්සේ දුරස්ථ පටකවලටද පැතිරීමට ද පුළුවන. පියයුරුවල ඇති වන පිළිකා සෛල සමූහයක් අතට හසුවන ගැටිත්තක් තරමට පත්වන්නේ පිළිකා සෛල ප්‍රමාණය මිලියනයක් පමණ දක්වා වැඩි වූ විටදිය.
පියයුරු පිළිකාවල දී බහුලව හමුවන රෝග ලක්ෂණ ලෙස පියයුරු දෙකේ අලුතින් ඇති වූ ප්‍රමාණවල වෙනසක්, පියයුරුවල කොටසක් ඇතුළට නෙරා යාමක්, පියයුරුවල ගැටිත්තක් ඉදිමීමක්, පියයුරුවල සමේ වෙනසක් (තන පුඩු ආශ්‍රිතව දදයක්, සමේ ඝන වීමක්, පැහැයේ වෙනසක්, ඉදිමීමක්, දොඩම් ලෙල්ලක මතුපිට වැනි ස්වභාවයක්), තන පුඩුව පියයුරු තුළට නෙරා යාමක් හෝ වෙනසක්, තන පුඩුවලින් පිදුරු පැහැයෙන් හෝ ලේ පැහැයෙන් දියරයක් ශ්‍රාවය වීමක්, පියයුරුවල අසාමන්‍ය වේදනාවක් දැක්විය හැකිය.
පියයුරු පිළිකාවක අවදානම තිබෙන්නේ කා හටද?
කාන්තාවක් විම ම අවදානම් කරුණකි. තරුණ පිරිසට වඩා වයසට යන කාන්තාවන්ට පියයුරු පිළිකාව ඇති වීමට හැකි ප්‍රවණතාව ඉහළය. අඩු වයයක දී වැඩිවියට පත්විම හා ආර්තවහරණය ප්‍රමාද වී සිදුවිම යන කාණ්ඩවල සිටින කාන්තාවන්ට පියයුරු පිළිකා තත්වය ඇති වීමට වැඩි ප්‍රවණතාවයක් තිබීමට හේතුව වන්නේ ඔවුන්ගේ ජීවිත කාලය තුළ දී ආර්තව චක්‍රය වැඩි වාර ගණනක් ක්‍රියාත්මක වීම නිසා පියයුරු අධික ලෙස ඊස්ට්‍රජන් හෝර්මෝනයට නිරාවරණය වීමයි. මීට අමතරව පළමු දරුවා ඉපදීමට හෝ ගැබ් ගැනීම ප්‍රමාද වීම, හෝර්මෝන ප්‍රතිස්ථාපන ප්‍රතිකාර දිගුකාලීනව ලබා ගන්නා කාන්තාවන්, උපත් පාලන පෙති දිගුකාලීනව ලබා ගැනීම, මධ්‍යසාර භාවිතය, අධික මේද සහිත ආහාර අනුභව කිරීම, ශාරීරික ව්‍යායාම අවම වීම, ස්ථුල බව මෙන්ම පියයුරු පිළිකා සඳහා පවුල් ඉතිහාසයක් ඇති කාන්තාවන් මේ අවදානම් පිරිස ලෙස හඳුන්වා දිය හැකිය.
පියයුරු ගැටිත්තක් තිබූ පමණින් එය පිළිකාමය තත්ත්වයක් විය හැකි ද?
මෙලෙස පියයුරු තුළ ගැටිත්තක් ඇති අවස්ථාවක දී එය පිළිකාමය නොවන ගැටිත්තක් ද විය හැකියි. නමුත් එය පැහැදිළිවම පරික්ෂා කර පිළිකාවක් ද නැත් ද යන වග මුල් අවස්ථාවේම හඳුනාගත යුතුයි. පියයුරුවල ඇති විය හැකි පිළිකා නොවන ගෙඩි හෝ ගැටිති ගණනාවක් ඇත. එයින් එක් ගැටිත්තක් ලෙස පයිබ්‍රෝ ඇඩිනෝමා (Fibro Adenoma) නමැති ගැටිති වර්ගය හඳුන්වා දිය හැකිය. තවද පිළිකාමය නොවන ගැටිත්තක් කළාතුරකින් පසුකාලයේදී පිළිකාවක් බවට පරිවර්තනය විමට ඉඩ ඇත.
පියයුරු පරික්ෂා කිරීමට ඇති ක්‍රම මොනවාද?
කාත්තාවන්ගේ පියයුරු පරීක්ෂා කරගැනීමට ක්‍රම කිහිපයක්ම ඇත. සාමාන්‍යයෙන් අවුරුදු 20-70ත් අතර කාන්තාවන් මසකට වරක් ස්වයං පියයුරු පරීක්ෂා කරගත යුතුය. මෙහි දී තමන්ගේ පියයුරු සම්බන්ධව තමන්ට හොඳ අවබෝධයක් ලැබෙන අතර, පොඩි හෝ වෙනසක් තිබුණහොත් වෛද්‍යවරුන්ටත් වඩා හොඳ අවබෝධයක් තමන් සතු වේ.
සායනික පියයුරු පරීක්ෂාව යනු පුහුණුව ලත් සෞඛ්‍ය නිලධාරිනියක් හෝ වෛද්‍යවරයෙක් ලවා අවුරුදු 40 ට වැඩි වයසැති සෑම කාන්තාවක්ම වසරකට වරක් තම පියයුරු පරීක්ෂා කරගැනීමයි.
නමුත් මෙම පරීක්ෂණ දෙකේදීම හසු නොවන පිළිකා හඳුනා ගැනීමට මැමෝග්‍රැෆි පරික්ෂාවක් සිදුකරනු ලැබේ. එක්ස් කිරණ අඩු මාත්‍රාවක් යොදා ගනිමින් පියයුරෙහි ඇතුළත පටක නිරීක්ෂණය කරනු ඇත. මෙම පරීක්ෂාව අවුරුදු 40 ට වැඩි කාන්තාවන්ට සිදුකරන අතර, මෙය බොහෝ වේලාවට Ultra Sound Scan පරීක්ෂණය සමඟ එකතු කර සිදුකිරීමෙන් එහි සංවේදිතාව වැඩි වේ.
ආසිරි පිළිකා මර්දන ඒකකයෙන් පියයුරු පිළිකා රෝගීන්ට ලබා දෙන සේවාවන් මොනවාද?
University of Pittsburgh Medical Center (UPMC) දකුණු ආසියාතික රටවල් වලට ලෝකයේ දියුණුම විකිරණ ප්‍රතිකාර ක්‍රමවේදයන් හඳුන්වාදීම සඳහා ඇමරිකානු පිළිකා ආයතනය (American Oncology Institute) පිහිටවනු ලැබූ අතර එහි ලාංකීය ශාඛාව ආසිරි-ඇමෙරිකන් ඔන්කොලජි ඉන්ස්ටිටියුට් පිළිකා මධ්‍යස්ථානය නමින් කොළඹ ආසිරි ශල්‍ය රෝහල තුළ මෑතකදි ආරම්භ කර ඇත. මෙම ප්‍රතිකාර මධ්‍යස්ථානයේ ඇති එක් විශේෂත්වයක් වන්නේ ලෝකයේ දැනට පවතින නවිනතම ලීනියර් ඇක්සලේටර් යන්ත්‍රය වන ලංකාවේ ඇති එකම True BamSTx යන්ත්‍රය මෙම පිළිකා ප්‍රතිකාර මධ්‍යස්ථානය සතු වීමය. ලංකාවේ රෝහලවල දැනට නොමැති උසස්ම ප්‍රමිතියෙන් හා ගුණාත්මකභාවයෙන් යුතු පිළිකා ප්‍රතිකාරයක් ඉතාමත් නිවැරදිව, පියයුරු පිළිකා රෝගීන්ට පමණක් නොව බාහිර විකිරණ ප්‍රතිකාරය ලබාදිය යුතු ඕනෑම් රෝගියෙකුට ඉතාම උසස් මට්ටමකින් ආසිරි - AOI පිළිකා මධ්‍යස්ථානයෙන් ලබාගැනීමේ හැකියාව දැන් පවතියි. ඒ වගේම මෙම ඒකකය තුළ ප්‍රතිකාර ලබාදිමට විශේෂ ක්‍රමවේදයක් භාවිතා කරනු ලැබේ.
පිළිකා රෝග විශේෂඥ වෛද්‍ය
ෂාම ගුණතිලක